සාමාන්‍යයෙන්, බොහොමයක් කාන්තාවන්ට තම ඔසප් වීම සිදුවීමේදී වැඩිපුර රුධිරය වහනය වීම සහ මද වේදනාවක් හටගැනීම සිදුවන දිනක් හෝ දින කිහිපයක් පවතිනු දැකිය හැක. නමුත්, අධිකව ඔසප් වීම (Menorrhagia) සුලබව හටගන්නා තත්ත්වයක් නොවේ. මෙම අධිකව ඔසප් වීම, ආර්තවරීතය හෙවත් ප්‍රදරය ලෙසද හඳුන්වනු ලැබේ.
ඔබටත් මෙම ගැටළුව පවතිනවා නම්, ඇතැම් විට පැයකට වරක් සනීපාරක්ෂක තුවායක් මාරු කිරීමට තරම් රුධිර වහනය අධිකව සිදුවන අවස්ථා ඇති බවට ඔබට අත්දැකීම් තිබිය හැක. ඇතැම් විටෙක, ඔබේ එදිනෙදා කටයුතු වලට බාධා වන තරම් වේදනාවක් ද ඒ සමග ඇතිවිය හැක. ඇතැම් සෞඛ්‍ය තත්ත්ව සහ රෝග හේතුවෙන් අධිකව ඔසප් වීම ඇතිවිය හැකි අතර, අධිකව ඔසප් වීම නිසාද සංකූලතා හටගැනීම සිදුවේ. කෙසේ වුවත්, ඔබට අධික ලෙස ඔසප් වීම පවතිනවා නම්, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වේ.
රෝග ලක්ෂණ
ඇතැම් කාන්තාවන්ට වැඩිවිය පැමිණීමෙන් පසුව සිදුවන සෑම ඔසප් වීමක්ම අධිකව සිදුවනු දැකිය හැක. සමහර අයට අධිකව ඔසප් වීම ආරම්භ වන්නේ වසර ගණනාවක්ම සාමාන්‍ය පරිදි ඔසප් වීම සිදුවූ පසුවය.
කෙසේ වුවත්, ඔබට අධිකව ඔසප් වීම ඇත්නම්, විශේෂයෙන්ම එම ගැටළුව හටගැනීම මෑතකදී සිදුවූයේ නම්, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීම කළ යුතුය. දිගු කලක් තිස්සේ අධික ලෙස ඔසප් වීම සිදුවීමෙන් රක්තහීනතාවය හටගැනීම සිදුවිය හැක. රක්තහීනතාවය හටගැනීමත් සමග ශරීරය දුර්වල වීම, වෙහෙසකර බව, ඉක්මනින් හති වැටීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක.
අධික ලෙස ඔසප් වීමත් සමග පහත ලක්ෂණ ඇත්වීම දැකිය හැක.
- දවස පුරා පැයකට වරක් සනීපාරක්ෂක තුවාය මාරු කිරීමට සිදුවීම හො නිතර එසේ කිරීමට සිදුවීම.
- රාත්‍රිය මැද නින්දෙන් අවදි වී සනීපාරක්ෂක තුවාය මාරු කිරීමට සිදුවීම.
- අධික ලෙස ඔසප් වීම හේතුවෙන් එකවර සනීපාරක්ෂක තුවා දෙකක් භාවිතා කිරීමට සිදුවීම.
- වේදනාකාරී වීම සහ අධික ලෙස රුධිර වහනය වීම නිසාවෙන් එදිනෙදා වැඩ කටයුතු වලට බාධා සිදුවීම.
- විශාල කැටි ලෙස රුධිරය වහනය වීම.
- ඇතැම් විට, දින හතකට වඩා අධිකව රුධිරය වහනය වීම සිදුවිය හැක.
- වෙහෙසකාරී බවක් දැනීම හෝ හුස්ම ගැනීමට අපහසු වීම.
- ඔසප් චක්‍ර දෙකක් අතර රුධිර වහනය වීම.
- ආර්තවාභාවයෙන් (Menopause) පසුව රුධිරය වහනය වීම.
අධිකව ඔසප් වීම සිදුවීමට හේතු
අධික ලෙස ඔසප් වීම සඳහා හේතු ගණනාවක් පවතී. ඒ අතරින් බහුලව දක්නට ලැබෙන හේතූන් පහත පරිදි දැක්විය හැක.
- හෝමෝන අසමතුලිතතා
සාමාන්‍යයෙන්, සෑම මාසයකදීම ගර්භාෂයේ ඇතුළත ආස්තරය (Endometrium) වර්ධනය වන අතර, ඉන්පසුව ඔසප් වීමේදී බිඳ වැටී රුධිරය සමග ගලායාම සිදුවේ. ඔබේ සිරුරේ හෝමෝන අසමතුලිත වුවහොත්, මෙම ආස්තරය පමණට වඩා ඝනකම් වීමෙන්, ඔසප් වීම සමග අධිකව රුධිර වහනය වීම සිදුවිය හැක. එමෙන්ම, ඔබගේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මෝචනය (Ovulation) සිදු නොවේ නම්, හෝමෝන අසමතුලිතතා ඇතිවිය හැකි අතර, එමගින් ද ගර්භාෂ ආස්තරය අසාමාන්‍ය ලෙස ඝනකම් වී අධික ලෙස ඔසප් වීම සිදුවිය හැක.
- ගර්භාෂයේ ගැටිති හෝ ගෙඩි වර්ධනය වීම
ගර්භාෂ ආස්තරය තුළ polyp නැමැති වර්ධනය වීම් ඇතිවිය හැක. එමෙන්ම, ගර්භාෂයේ තන්ත්වාභ හෙවත් ෆයිබ්‍රොයිඩ් (Fibroid) නැමැති පිළිකාමය නොවන ගෙඩි හටගැනීම සිදුවන අවස්ථා පවතී. මෙම අවස්ථා දෙකෙහි දීම අධිකව ඔසප් වීම සිදුවන අතර, වැඩි දින ගණනක් ඔසප් වීම ද සිදුවිය හැක.
- අන්තර් ගර්භාෂිත තැන්පතුව (Intra-uterine contraceptive device or IUCD) හෙවත් ලූපය
පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස භාවිතා කරන අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය නිසා ද අධික ලෙස ඔසප් වීම සිදුවිය හැක. විශේෂයෙන්, හෝමෝන අන්තර්ගත වන ලූපයන් නිසා අධිකව ඔසප් වීම සිදුවීමට වැඩි හැකියාවක් පවතී.
- ගර්භණීභාවය ආශ්රිත ගැටළු
කලාතුරකින්, ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වීමෙන් හටගන්නා යුක්තාණුව සාමාන්‍ය පරිදි ගර්භාෂ කුහරය තුළ රෝපණය නොවී ඉන් පිටත රෝපණය වීම (Implantation) සිදුවිය හැක. මෙය ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමක් (Ectopic pregnancy) ලෙස හඳුන්වනු ලැබේ. මෙම තත්ත්වය නිසා කිසි විටෙක සජීවී ගැබ් ගැනීමක් සිදුවීමට නොහැකි අතර, බරපතළ සංකූලතා ඇතිවිය හැක. ඉන් එක සංකූලතාවයක් ලෙස යෝනි මාර්ගයෙන් අධික ලෙස රුධිර වහනය වීම සිදුවිය හැකි අතර, එය අධිකව ඔසප් වීමක් ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇත. එමෙන්ම, ගබ්සා වීමකදී ද අධික ව රුධිර වහනය වීම සිදුවිය හැක.
- ඇතැම් පිළිකා
කලාතුරකින්, ගර්භාෂයේ, ගැබ්ගෙලෙහි, හෝ ඩිම්බ කෝෂ වල හටගන්නා ඇතැම් පිළිකා හේතුවෙන් ද අධික ලෙස රුධිර වහනය වීම සිදුවේ. එවන් අවස්ථා වලදී ද අධික ලෙස ඔසප් වන ආකාරයට රුධිරය ගැලීම දැකිය හැක.
- රුධිර වහන රෝග (Bleeding disorders)
කලාතුරකින්, පරම්පරාවෙන් පරම්පරාවට හටගන්නා රුධිර වහන රෝග හේතුවෙන් කුඩා තුවාළයක් හෝ කැපුමක් සිදුවුවද, රුධිරය ගැලීම නතර කිරීම අපහසු වනු දැකිය හැක. එවැනි රෝග පවතින කාන්තාවන්ට, අධික ලෙස ඔසප් වීම සහ වැඩි දින ගණනාවක් ඔසප් වීම ඇතිවේ.
- ඇතැම් ඖෂධ
රුධිරය කැටි ගැසීම අඩුකිරීම සඳහා ලබාදෙන ඇස්පිරින් (Aspirin), ක්ලොපිඩොග්රල් (Clopidogrel) වැනි ඖෂධ නිතිපතා භාවිතා කරන අයට ද අධිකව ඔසප් වීම ඇතිවිය හැක. එමෙන්ම, ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ (Non-steroidal anti-inflammatory drugs or NSAIDs) ගන්නා විටද අධික ලෙස ඔසප් වීම සිදුවිය හැක.
- ඇතැම් රෝග
පහත දැක්වෙන රෝග පවතින කාන්තාවන්ට අධික ලෙස ඔසප් වීම හටගැනීම සිදුවිය හැක.
- එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) තත්ත්වය
- තයිරොයිඩ් හෝමෝන ගැටළු
- ශ්‍රෝණි ප්‍රදාහ රෝගය (Pelvic inflammatory disease or PID)
- වකුගඩු රෝගය
- අක්මා රෝග